Like us

You money here!!!

Tuesday, October 27, 2015

බුදුදහමේ පෞරුෂ විග‍්‍රහය


හැඳින්වීම බුද දහම අනාත්මවාදී දර්ශනයකි. භවයෙන් භවයට ගමන් කරන හෝ පුද්ගලයා තුළ පවතින ආත්මයක් පිළිබඳ මතවාදය බුදුදහම ප‍්‍රතික්ෂේප කරයි. එසේ නමුත් අනාත්ම වාදය ප‍්‍රතික්ෂේප කිරීම තුළ බුදුදහම පුද්ගල අනන්‍යතාවය ප‍්‍රතික්ෂේප නොකරයි. නූතන මනෝවිද්‍යාව තුළ පෞරුෂය පිළිබඳ වඩාත් සාර්ථක සහ නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කර ඇත්තේ ගෝර්ඩන් ඔල්පෝර්ට් :ඨදරාැබ ්කකචදරඑ - 1937* නම් මනෝවිද්‍යාඥයා විසිනි. ඔහුට අනුව

‘‘තමාටම සුවිශේෂී වූ ආකාරයට පුද්ගල චර්යාව හා චින්තනය පරිසරයට අනුව සකස් වීම තීරණය කරන ඔහු තුළ වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි.’’ 


 මේ තුළින් පුද්ගලයාට ආවේණික ලක්ෂණ මෙන්ම ගතික ස්වභාවයන්ද පිළිගන්නා අතර බුදුදහමේ දැක්වෙන පෞරෂ විග‍්‍රහය තුළද මෙම අංශ දෙකම විග‍්‍රහ වන බව පැහැදිළිය. එසේම බෞද්ධ පෞරුෂ සංකල්පය මගින් පංචස්කන්ධ විවරණය හරහා පුද්ගලයාගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයත්, පෞරුෂ ලක්ෂණයන්ගේ වේමත්තතාවයන් අනුව කරන ලද පෞරෂ වර්ගීකරණයක් සහ පෞරුෂය සංවර්ධනය කරගත හැකි ආකාරයත් පැහැදිළි කෙරෙයි. 

බෞද්ධ සූත‍්‍ර ධර්මයන් පිළිබඳ සැලකිල්ලෙන් විමසීමෙහ්දී පැහැදිළි වන්නේ එම දේශනාවන් බොහොමයක් උසස්, නිවැරදි, පිරිසිදු පෞරුෂයක් ගොඩනගා ගැනීම සඳහා කරනු ලබන ම`ගපෙන්වීමක් බවයි. බුදුදහමේ පෞරුෂ විග‍්‍රහය බුදුදහම තුළ පෞරුෂ විග‍්‍රහයක් ලෙස පැහැදිළි විවරණයක් ඉදිරිපත් කෙරෙන්නේ පංචස්ඛන්ධ විවරණය මගිනි.

 දෘශ්‍යමාන ස්වරූපය අනුව මෙම පංචස්කන්ධ විවරණය පුද්ගලයාගේ බාහිර ලක්ෂණ හෝ බාහිර ලක්ෂණ මත පදනම් වූ විවරණයක් ලෙස පෙනුනද එය එකී සීමාවන් ඉක්මවා ගිය නූතන මනෝවිද්‍යාවේ පෞරුෂ සංකල්පයන්ද අභිබවා යන පෞරුෂ විවරණයක් ලෙස සැලකිය හැකිය. 

එම විවරණය නූතන මනෝවිද්‍යාවේ විවරණයන්ට සාකල්්‍යයෙන්ම සමාන නොවන අතර ඊටම ආවේණික බෙදා දැක්වීමක් සහිතය. නමුත් එය නූතන මනෝවිද්‍යාවේ පෞරුෂ විග‍්‍රහයන්ද ආවරණය කරන ප‍්‍රමාණාත්මක විවරණයක් ලෙස සැලකිය හැකිය. මනෝවිද්‍යාව තුළ පෞරුෂ අධ්‍යනයන් කේන්ද්‍රගත වන ප‍්‍රධාන පැතිකඩ දෙකක් දැකගත හැකිය. 

එනම්, x විවිධ පුද්ගල චරිත විග‍්‍රහ කළ හැකි පොදු පෞරුෂ ලක්ෂණ x එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ සුවිශේෂී පෞරුෂ ලක්ෂණ යන දෙකයි. බෞද්ධ මනෝවිද්‍යාව තුළ පංචස්කන්ධය මූලික කරගත් පෞරුෂ විග‍්‍රහය මගින් මෙම අංශ දෙකම ආවරණය කෙරෙයි. පංස්කන්ධ විග‍්‍රහය තුළ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වශයෙන් ස්කන්ධ පහක් හරහා පුද්ගල පෞරුෂය විස්තර කෙරෙයි. 

මෙම ස්කන්ධ පංචකය සියලූ පුද්ගලයන් තුළ පොදුවේ දැකිය හැකි පොදු පෞරුෂ පැතිකඩ පහකි. එම පෞරුෂ පැතිකඩයන් සෑම පුද්ගලයකුටම පොදු වුවද ඒ තුළ අන්තර්ගත ලක්ෂණයන් ඒ ඒ පුද්ගලයාට ආවේණිකය. විශේෂයෙන්ම ස්කන්ධ පහ අතුරින් සංඥා හා සංකාර යන ස්කන්ධ දෙක ස්කන්ධ වශයෙන් සෑම පුද්ගලයකුටම පොදු වුවද ඒ ඒ පුද්ගලයා සතු සංඥා යටතේ ගැනෙන විවිධ මතක සටහන්, හැඳින ගැනීම් සහ සංකාර යටතේ ගැනෙන විවිධ ප‍්‍රවණතා, නැඹුරුතා, හුරුපුරුදු ඒ ඒ පුද්ගලයාට ආවේණික ඒවාය. 

 ඒ අනුව උක්ත සඳහන් කළ අංශ දෙකම බෞද්ධ පෞරුෂ විග‍්‍රහය තුළ ආවරණය වී තිබෙන බව පැහැදිළි වෙයි. බෞද්ධ පෞරුෂ විග‍්‍රහයේ තවත් විශේෂත්වයක් නම් විඤ්ඤාණය හෙවත් මනසද පෞරුෂයේ එක් අංගයක් ලෙස විග‍්‍රහ කොට තිබීමයි. නූතන මනෝවිද්‍යාවේ බොහෝ පෞරුෂ විග‍්‍රහයන් තුළද මනස යන්නට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. නමුත් චර්යාවාදීන් සියලූ තැන්හි සේම පෞරුෂ විග‍්‍රහයේදීද චර්යාව පමණක් වැදගත් කොට සලකන අතර මනස නොසලකා හරියි. 

 එමෙන්ම පංචස්කන්ධ විවරණයට අනුව පුද්ගලයාගේ පෞරුෂය රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ හරහා ගොඩ නැගෙන ආකාරයද විස්තර වන අතර පුද්ගලයා තුළ ගොඩ නැගී ඇති අයහපත් පෞරුෂ ලක්ෂණ හා ප‍්‍රවණතා ක‍්‍රමානුකූල හා අනුපූර්ව පුහුණුවක් මගින් වෙනස් කොට යහපත් පෞරුෂ ලක්ෂණ වර්ධනය කොට පූර්ණ පෞරුෂ පරිවර්තනයක් සිදු කළ හැකි බවද පෙන්වා දෙයි. 

 බෞද්ධ පෞරුෂ විග‍්‍රහයේ අනෙක් සුවිශේෂත්වය නම් මෙම පෞරුෂ ලක්ෂණ හා ප‍්‍රවණතාවන් සියල්ලක්ම කාලයත් සමග වෙනස් විය හැකි හා වෙනස් කළ හැකිය යන අදහසයි. 

බුදු දහමට අනුව ලොව පවතින සියලූ සංකත ධර්මයන් අනිත්‍යය. අස්ථිරය. වෙනස් වන සුලූය. එසේම පුද්ගල අනන්‍යතාවය නිර්මාණය කරන පෞරුෂ ලක්ෂණයන් පුද්ගලයාටම ආවේණික අභ්‍යන්තර ගති ලක්ෂණයන් වුවද ඒ සියල්ලක්ම අස්ථිරය. ඒවා සදාකාලිකව නොවෙනස්ව පවතින්නේ නොවේ. 

විවිධ පරිසර තත්වයන්, විවිධ අද්දැකීම් හා විශේෂ පුහුණුවීම් යන සාධක මත වෙනස් කළ හැකි හා වෙනස් විය හැකි බව බුදු දහම පෙන්වා දෙයි. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව පෞරුෂයේ විවිධ පැතිකඩ බෞද්ධ පෞරුෂ විග‍්‍රහයට අනුව පුද්ගල පෞරුෂය යනු විවිධ සාධක මත පදනම්ව අඛණ්ඩව ගලා යන ප‍්‍රවාහයකි. එම ප‍්‍රවාහයේ ප‍්‍රධාන පැතිකඩ පහක් වෙයි. එනම් රූප, වේදනා, සංඥා, සංකාර හා විඤ්ඤාණ යන පහයි. 

මේ තුළින් පෞරුෂයේ බාහිර කායික පදනම මෙන්ම අභ්‍යන්තරික සරල හා ගැඹුරු මානසික පදමනද පැහැදිළි කෙරෙයි. මෙම ස්කන්ධ යනු පස් වැදෑරුම් පැතිකඩයක එකතුවකි. එමගින් පුද්ගල පෞරුෂය ගොඩනැගෙන ආකාරය ද බෞද්ධ දර්ශනය තුළ ඉතා පැහැදිළිව විග‍්‍රහ කොට තිබෙයි. රූප හෙවත් කායික පිහිටීම සහ ඉන්ද්‍රිය පද්ධතිය විඤ්ඤාණය සමග එක් වූ විට ඉන්ද්‍රිය විඤ්ඤාණය පහළ වෙයි. මෙම ඉන්ද්‍රිය විඤ්ඤාණය මගින් බාහිර ලෝකය පිළිබඳව ආවේග හෙවත් උත්තේජ ලබා ගනියි. 

එය වින්දනය වේදනා නම් වෙයි. වින්දනය ලද විගස එය හඳුනා ගැනීම සහ අර්ථකතනය කිරීමට යොමු වෙයි. එය සංඥා නම් වෙයි. එහිදී කලින් ගොඩනගාගත් හඳුනාගැනීම් සමග නව වින්දන අර්ථකතනය කෙරේ. එසේම වින්දනයන්ගේ ස්වභාවය අනුව නව හඳුනාගැනීම් සංඥා සකස් කිරීමද සිදු විය හැකිය. 

 එම හඳුනාගැනීම් හා ඒවාට ප‍්‍රතිචාර දැක්වීම නිතර නිතර කිරීම තුළින් පුරුදු ප‍්‍රවණතා ගොඩනැගේ. ඒවා සංකාර නම් වෙයි. මෙහි විශේෂත්වය නම් වේදනා සංඤා සංකාර යන තුන ඇති වන්නේ රූප නම් වූ ඉන්ද්‍රය පද්ධතිය සමග විඤ්ඤාණ හෙවත් මනස එක් වූ විටය. එම ක‍්‍රියාවලියෙහි මූලාරම්භය එයයි. 

 රූප ස්කන්ධය ඃ- ව්‍යවහාරික සමාජය තුළ මෙන්ම ඇතැම් න්‍යායන් තුළද පෞරුෂය ලෙස වැදගත් කොට සැලකෙන්නේ පුද්ගලයාගේ බාහිර ස්වරූපය හෙවත් රූපයයි. එසේ නමුත් බෞද්ධ මනෝවිද්‍යාවට රූප යන්න පස් වැදෑරුම් පෞරුෂ පැතිකඩයක එක් අංගයක් පමණි. 

මෙහිදී ‘‘අතීත, අනාගත, වර්තමාන යන කාලත‍්‍රයට අයත්, කර්කශ වූ හෝ සියුම් වූ, හීන හෝ ප‍්‍රණීත වූ, දුර හෝ ල`ග ඇති යන විවිධ ප‍්‍රකාරයන්ගෙන් යුත් කායික හා භෞතික පදනම රූපය යනුවෙන් අදහස් වේ.’’ පුද්ගල පෞරුෂයේ බාහිරට නිරූපණය වන කායික පදනම රූපයයි. ඒ තුළ ඇස කණ නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන් මුල් කරගත් ශාරීරික අංගෝපාංගයන් අන්තර්ගත වෙයි. එහෙයින් පංචස්කන්ධ විග‍්‍රහය තුළ මූලික මෙන්ම ප‍්‍රධාන ස්ථානයක් මීට හිමි වෙයි. 

 විඤ්ඤාණය සමග එක්ව වේදනා, සංඥා, සංකාර යන පෞරුෂ පැතිකඩයන් ජනනය කිරීමට මූලිකවම බලපානුයේ රූපයයි. රූපස්කන්ධය මගින් ලබා ගන්නා විෂය අරමුණු වලට අනුව අනිකුත් ස්කන්ධයන්ද ක‍්‍රියාත්මක වෙයි. එහෙයින් එකී රූපයට සම්බන්ධ විවිධ ඉන්ද්‍රියන්ගේ ශක්‍යතාවන් හා දුර්වලතාවන් අනුව අරමුණුවල ස්වභාවය මෙන්ම චින්තනයද වෙනස් විය හැකිය. ඒ අනුව බෞද්ධ පෞරුෂ විග‍්‍රහය තුළ රූප ස්කන්ධය පළමුවෙන්ම අන්තර්ගත කොට ඇත්තේ විශාල මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්තවය. 

වේදනා ස්කන්ධය ඃ- ‘‘පුද්ගලයාගේ වින්දන හැකියාව මෙම ස්කන්ධයෙන් නිරූපණය වෙයි.’’ පංචේන්ද්‍රියන් හරහා බාහිර පරිසරයෙන් උකහා ගන්නා උත්තේජයන් සුඛ, දුක්ඛ, හෝ අදුක්ඛමසුඛ යන තෙයාකාරයෙන් එක් ආකාරයකට අනුව වින්දනය කරයි. උත්තේජිත විෂය අරමුණ කුමක්ද යන්න සංජානනය කිරීමටද පෙර මෙම වේදනාව ඇති වන බව බෞද්ධ විග‍්‍රහයයි. 

‘‘බාහිර අරමුණු හා ඉන්ද්‍රියන් එකතු වීම හා අදාළ ඉන්ද5ිය විඤ්ඤාණය පහළ න්‍ිමෙන් අනතුරුව සුඛ දුක්ඛ අදුක්ඛ මසුක වේදනා හෙවත් වින්දන පහළ වේ. විෂය වස්තු හැඳින ගැනීම හෙවත් සංජනනය සිදු වන්නේ ඉන් අනතුරුවය.’’ 

 පංචේන්ද්‍රියන්ද සම්බන්ධ වන බැවින් මෙම වේදනා ස්කන්ධයට කායික පදනම හා මානසික පදනම යන දෙකම අයත් වෙයි. නූතන මනෝවිදයාව තුළ ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලට අනුව උත්තේජයක් ලැබුණු වහාම මුලින්ම ශරීරය තුළ ක‍්‍රියාත්මක වන්නේ ස්නායු පද්ධතියයි. ස්නායු හරහා මොළයට දැනුම් දීමෙන් එම උත්තේජය සංජානනය කිරීම හා ඊට ප‍්‍රතිචාර දැක්වීම සිදු කරයි. බෞද්ධ පෞරුෂ න්‍යායේ වේදනාස්කන්ධයේ ක‍්‍රියාකාරීත්වයද මෙම ස්නායු පද්ධතියේ ක‍්‍රියාවලිය පිළිබඳ නූතන මනෝවිද්‍යා මතයට සමීප බවක් පවතියි. 

 සංඥා ස්කන්ධය - ‘‘ඇස කණ නාසය ආදී ඉන්ද්‍රියන් හරහා වින්දනය කරනු ලබන විෂය අරමුණු හැඳින ගැනීමේ සංජානන ශක්තිය සංඥා ස්කන්ධයෙහි ලා සැලකේ.’’ 

මෙසේ උත්තේජයන් සංජානනය කිරීමේදී විශේෂයෙන්ම පුද්ගලයා ඊට පෙර සංජානනය කළ වස්තූන් පිළිබඳ අද්දැකීම් හෙවත් සංඥාවන්ද පදනම් කරගනිමින් එම අවස්ථාවේ එළඹ ඇති වස්තු විෂය හඳුනා ගැනීම සිදු කරයි. ඒ අනුව පුද්ගලය පෞරුෂය සකස් වීමේදී ඔහු හෝ ඇය ස්වකීය ජීවිතයේ ප‍්‍රාථමික අවධියේ සිට ලත් අද්දැකීම් තුළින් ගොඩනගාගත් සංඥාවන්ගේ බලපෑමද සිදු වෙයි. ඇසට යම් වර්ණයක් දිසු වූවිට එය අනික් වර්ණයන්ගෙන් වෙන් කොට හඳුනා ගන්නේත් කණට යම් ශබ්දයක් ඇසුණු විට එම උත්තේජය අනිකුත් ශබ්දයන්ගෙන් වෙන් කොට හඳුනා ගන්නේත් ඊට ප‍්‍රථමයෙන් ලත් අද්දැකීම් පිළිබඳ සංඥාවන් පදනම් කරගනිමිනි. ඒ අනුව පුද්ගල මනස විවිධ සංඥාවන්ගෙන් පිරී පවතින්නකි. 

‘‘සාමාන්‍යයෙන් මිනිසුන් ලෝකය සමග ගනුදෙනු කරන්නේ මෙසෙල ගොඩනැගූ සංඥාස්ඛන්ධය පදනම් කරගනිමිනි.’’ 

 ලබන්නා වූ උත්තේජයට සමගාමී සංඥාවක් මීට ප‍්‍රථමයෙන් අත්දැක නොතිබියේ වී නම් එකී උත්තේජය සංජානනය කිරීමට හෙවත් ඒ පිළිබඳ සංඥාවක් ගොඩනගා ගැනීමට දුෂ්කර වෙයි. ඒ අනුව පුද්ගල පෞරුෂයේ ඉතා වැදගත් පැතිකඩක් සංඥා ස්කන්ධය මගින් නියෝජනය කරයි. 

සංකාර ස්කන්ධය - ‘‘පුද්ගල මනසේ සංස්කරණ හා අභිසංස්කරණ හැකියාවත් ඒ හරහා සකස් කරගත් හුරු පුරුදු හා ප‍්‍රවණතා සමූහයත් සංස්කාරස්කන්ධයෙන් අදහස් වේ.’’

 සංස්කාරයන්ගේ ස්වභාවයන් තුනකි. එනම් ඇතිවීම, ක්ෂය වීම හා වෙනස් වීම යන ලක්ෂණ තුනයි. ඉන්ද්‍රියන් හරහා මනසටඇතුළ් කරගන්නා සැම අද්දැකීමක්ම මනස මගින් ඒ තුළ ඇති සංඥාවන්ට අනුව සකස් කර ගැනීම සිදු වන අතර එම ක‍්‍රියාවලිය හරහා පුද්ගලයා තුළ හුරු පුරුදු හා ප‍්‍රවණතාවයන් වර්ධනය වෙයි. පුද්ගලයාගේ පෞරුෂය තුළ මෙම හුරු පුරුදු හා ප‍්‍රවණතාවයන් ඉතා වැදගත් අංශයක් වෙයි.

 සංස්කාරයන් කාය, වචී, මනෝ යන ස්ථරයන් තුනෙහිම ක‍්‍රියාත්මක වෙයි. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර යනුවෙන් එය විස්තර වෙයි. මේ අනුව පුද්ගලයාගේ චර්යාවන්ට බලපාන කායික වාචසික මානසික හුරු පුරුදු හා සකස් කිරීමේ මානසික හැකියාව සංස්කාර සකන්ධය මගින් විස්තර කෙරෙයි. 

විඤ්ඤාණ ස්කන්ධය - ඇස කණ නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියයන් හරහා යම් වස්තු අරමුණක් ඇතුළ් වීමේදී ඒ පිළිබඳව දැනීම් මාත‍්‍රය ඇති කර ගැනීම හෙවත් සංවේදනයක් ඇති කර ගැනීම විඤ්ඤාණස්කන්ධය මගින් සිදු වෙයි. ඉන්ද්‍රියයන් හරවහා පැමිණෙන ඒ ඒ අරමුණේ ස්වභාවය අනුව එකී දැනීම් මාත‍්‍රයන් හෙවත් විඤ්ඤාණයන් ඇති වෙයි. 

‘‘ඒ අනුව චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය හා මනෝ විඤ්ඥාණය වශයෙන් විඤ්ඤාණය ෂඞ්විධ ආකාරයකින් ඇති වෙයි. මේ අනුව පුද්ගල පෞරුෂයක ඇති මූලික සවිඤ්ඤාණික බව විඤ්ඤාණ ස්කන්ධයෙන් නියෝජනය වන බව පැහැදිළිය. බෞද්ධ පෞරුෂ විග‍්‍රහය තුළ මෙම පැතිකඩයන් දක්වා ඇත්තේ ස්කන්ධ හෙවත් සමූහ වශයෙනි. 

එහෙයින් මෙම විග‍්‍රහය අවසන් විග‍්‍රහයක් නොයවන අතර මෙම සමූහයන් එකිනෙක තවදුරටත් විශ්ලේෂණය කරමින් බෙදා දැකිවිය හැක බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිළි වෙයි. එසේම මෙම පැතිකඩ පහක් ලෙස විස්තර වුවද මේව් එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය වශයෙන් බලපාමින් ක‍්‍රියාත්මක වන සන්තතියක් ලෙස දැක ගත හැකිය. 

බෞද්ධ දර්ශනයට අනුව සියල්ල අස්ථිර, අනිත්‍ය, වෙනස් වන සුලූ වන්නා සේම මෙම ස්කන්ධයන්ද ම ස්වභාවයට යටත් වෙයි. පංචස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය පෙන්වා දීම සඳහා බුදු රජාණන් වහන්සේ මෙය උපමා පහක් මගින් විස්තර කරති. ඒ මෙසේය. 

x රූපස්කන්ධය - පෙණපි`ඩක් හා සමානය x වේදනාස්කන්ධය - දියබුබුලක් හා සමානය x සංඥාස්කන්ධය - මිරි`ගුවක් හා සම්බන්ධය x සංඛාරස්කන්ධය - කෙසෙල් කඳක් හා සමානය x විඤ්ඤාණස්කන්ධය - මායාවක් හා සමානය එසේම නූතන මනෝවිද්‍යාත්මක විග‍්‍රහයන් සලකා බලන විට පෞරුෂයේ ප‍්‍රධාන අංශ තුනක් පොදුවේ පිළිගෙන ඇත. එනම්, x ප‍්‍රජානන අංශය x ආවේදනාත්මක අංශය x යත්නික අංශය යන තුනයි. පෞරුෂය පිලිබඳ බෞද්ධ විග‍්‍රහය තුළින්ද මෙම අංශයන් සාකච්චා කෙරෙයි. 

සංඥා ස්කන්ධය මගින් නිරූපණය කෙරෙන්නේ පුද්ගල පෞරුෂයේ ප‍්‍රජානන අංශයයි. වේදනා ස්කන්ධයෙන් ආවේදනාත්මක අංශය සහ සංකාර ස්කන්ධයෙන් යත්නික අංශයද පැහැදිළි කෙරෙයි. එසේම පුද්ගල පෞරුෂයේ කායික අංශය සැලකිල්ලට ගනිමින් රූපස්කන්ධයත් පුද්ගල චින්තනය සැලකිල්ලට ගනිමින් විඤ්ඤාණස්කන්ධයත් ඇතුළත් කරමින් ඉතා පරිපූර්ණ සහ සුපැහැදිළි පෞරුෂ විග‍්‍රහයක් පංචස්කන්ධ විග‍්‍රහය තුළින් ඉදිරිපත් වන බව පැහැදිළි වෙයි. 

මෙම ස්කන්ධයන් කෙලෙස් සහිත වූ විට උපාදානස්කන්ධ නමින් හඳුන්වයි. උපාදාන නම් මනසින් අලංලා ගැනීමයි. එනම් රූප උපාදානක්කන්ධ ආදි වශයෙනි. විමුක්ත පුද්ගලයා, අවිමුක්ත පුද්ගලයාද ස්කන්ධ පංචකයෙන් සමන්විතය. නමුත් විමුක්ත පුද්ගලයා පංච උපාදානස්කන්ධයෙන් තොර වූවෙකි. විමුක්ත පුද්ගලයාගේ පෞරුෂය ආසව හෙවත් කෙලෙස් මගින් සංස්කරණයට භාජනය නොවන නිසාය. අවිමුක්ත පුද්ගලයාගේ පෞරුෂය ආසව හෙවත් කෙලෙස් මගින් නිරන්තරයෙන් සංස්කරණයට භාජනය වෙයි.

 කෙලෙස් අඩු වැඩි වශයෙන් ඒ ඒ පුද්ගලයන් තුළ බලපවත්වන බැවින් පුද්ගල පෞරුෂයේ විවිධාකාර බලක් දක්නට ඇත.එනිසා පුද්ගල වේමත්තතාවක් පවතී. එය ඉන්ද්‍රිය වේමත්තතාවක් හා ඵල වේමත්තතාවක් වශයෙන්ද ප‍්‍රකට වෙයි. 

 ක්ලේශයන්ගෙන් මිදුණු රහනත් වහන්සේ පරිපූර්ණ, පිරිසිදු පෞරුෂයක් සහිත චරිතයක් ලෙස බෞද්ධ දර්ශනය පෙන්වා දෙයි. 

පුද්ගල පෞරුෂයක සංයෝජන දහයක් වෙයි. පරිපූර්ණ පෞරුෂයක් ඇති කර ගැනීමට ඒවා ප‍්‍රහීණ කළ යුතුය. සංයෝජනවලින් ගහන තැනැත්තා පෘථක්ජන නමින් හඳුන්වයි. මෙම සංයෝජන අතුරින් පළමු තුන ප‍්‍රහීන කළ තැනැත්තා පෘථක්ජන භාවය ඉක්මවූකෙි. ඔහු සෝතාපන්න නමින් හැඳින්වෙයි. ඔහු විමුක්ති මාර්ගයට පිළිපන්නෙකි. 

එවැනි පියවර හතරක් ඇත. සතරවැන්න සියලූ සංයෝජන ප‍්‍රහීන වන අවස්ථාවය. සම්පූර්ණ වූ පෞරුෂය එයයි. එය අර්හත්වය නමින් හඳුන්වයි. එනම් පූර්ණ සුදුසුකම් ලැබීමය. එමෙන්ම බෞද්ධ දර්ශනයේ ධාතු විග‍්‍රහය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාර, විඤ්ඤාණ යන ධාතු හය*, ආයතන විග‍්‍රහය (චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ආයතන හය*, අටලොස් ධාතු විග‍්‍රහය හා පටිච්චසමුප්පාද විවරණය තුළින්ද බෞද්ධ පෞරුෂ න්‍යාය පිළිබිඹු වන බව ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. 

 බෞද්ධ පෞරුෂ වර්ගීකරණය සමාජයේ ජීවත් න්‍ීමේදී සයපත් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමට සහ පුද්ගලයන් පිළිබඳව පූර්ව අවබෝධයක් ලබා ගැනීමට පෞරුෂ වර්ගීකරණයන් ප‍්‍රායෝගිකව වැදගත් වෙයි. නූතන මනෝවිද්‍යාවෙහි සේම බෞද්ධ දර්ශනය තුළද පුද්ගල විවිධත්වයන් පදනම් කර ගනිමින් පෞරුෂ වර්ගීකරණයන් සිදු කර ඇති ආකාරය දැකගත හැකිය. විශේෂයෙන්ම බෞද්ධ මූලාශ‍්‍ර තුළ පෞරුෂ විවිධත්වයන් ිපළිබඳව ගැඹුරින් සලකා ඇති බව දක්නට ඇත. 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ‘අරියපරියේසන සූත‍්‍රය තුළ මෙම පෞරුෂ විවිධත්වයන් පිළිබඳව උපමාවකින් පැහැදිළි කර ඇත. එනම්, ජලයෙහි හටගත් පියුම්වල විවිධතාවය යම් සේද මිනිස් සමාජයෙහි පුද්ගල පෞරුෂ විවිධත්වයද එසේමය.

’බුදුරජාණන් වහන්සේට පැවති ඥාන අතර ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය මෙම පුද්ගල විවිධත්වයන් අවබෝධ කරගැනීමේ ඥානය ලෙස හැඳින්වෙයි. පුද්ගලයන්ගේ එකී විවිධත්වයන් අවබෝධ කරගනිමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට ඇති ආකාරය විවිධ සූත‍්‍ර දේශනා හා කතා පුවත් මගින් පැහැදිළි කරගත හැකිය. ඒ අනුව උන්වහවන්සේ හඳුනා ගත් පෞරුෂ විවිධත්වයන් රාශියක් පිළිබඳ මෙහිදී විමසා බැලේ.

 උක්ත සඳහන් කළ උපමාව සම`ග අරිය පරියේසන සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුද්ගල විවිධත්වයන් අටක් පිලිබඳව දේශනා කරයි. ඒ මෙසේය. x කෙලෙස් අඩු අය (අප්ප රජක්ඛේ* කෙලෙස් වැඩි අය (මහා රජක්ඛේ* x තියුණු ශ‍්‍රද්ධා ආදී ඉඳුරන් ඇති අය (තික්ඛින්ද්‍රියේ* තියුණු නොවූ ඉඳුරන් ඇති අය (මුදින්ද්‍රියේ* x සකස් වූ ආකාර ඇති අය (ස්වාකරේ* කෙලෙසුණු ආකාර ඇති අය (ද්වාකරේ* x පහසුවෙන් අවබෝධ කරවිය හැකි අය (සුවිඤ්ඤාපයේ* යමක් අවබෝධ කරවීමට අපහසු අය (දුවිඤ්ඤාපයේ* යම් කිසි පෞරුෂ වර්ගීකරණයක් සිදු කරනුයේ පුද්ගල විවධත්වයන් සැලකිල්ලට ගනිමිනි. එවැනි පුද්ගල විවිධත්වය නිර්වචනය කරන මනා දේශනාවක් බෞද්ධ මූලාශ‍්‍ර තුළින් සොයා ගත හැකිය. 

ඒ මෙසේය. ‘‘නානත්ත කායා නානාත්ත සඤ්ඤිනො නානත්ත කායා ඒකත්ත සඤ්ඤිනො එකත්ත කායා නානත්ත සඤ්ඤිනො එකත්ත කායා එකත්ත සඤ්ඤිනො’’ මෙහි දී ඒ ඒ සත්වයන් කායික හා මානසික වශයෙන් යම් යම් සඤ්ඤාවන් ගැනීම අනුව විවිධත්වයන් දැක ඇති බව පැහැදිළි වෙයි. 

මෙවැනි වූ ප්දගල විවිධත්වයන් පදනම් කරගත් පෙ1රුෂ වර්ගීකරණයන් සූත‍්‍ර දේශනා ඇසුරින් දැක ගත හැකිය. පුද්ගලයාගේ මනස ඹූලික කරගනිමින් බොහෝ පෞරුෂ ලක්ෂණයන් වර්ධනය වෙයි. බුදදහමේ සඳහන් ආකාරයට ලෝභ ද්ේශ මෝහ යන ප‍්‍රධාන අභිපේ‍්‍රරණ ක‍්‍රියාකාරිත්වයන් මූලික කරගෙන සිදු කරල ලද පෞරුෂ වර්ගීකරණයක් දැක ගත හැකිය. 

එනම්, x සරාගෝ - නොයෙක් සරාගික සිතුවිල්ලෙන් යුතු අය x සදෝසෝ - වහා කිපෙන සුලූ ද්වේශ සහගත අය x සමෝහෝ - අවිද්‍යාව මුල් කරගත් වැරදි කල්පනාවෙන් යුතු මුලා වූ ස්වභාවය ඇති අය යනුවෙනි. 

එසේම අංගුත්තර නිකායේ තවත් පෞරුෂ වර්ගීකරණයක් හඳුනාගත හැකිය. සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යනුවෙන් පුද්ගල ක‍්‍රියාකාරිත්වයට බලපාන ඉන්ද්‍රිය ධර්ම හෙවත් බලවේග පහක් බුදු දහමේ දැක්වෙයි. 

එම ඉන්ද්‍රිය ධර්මයන්ගේ වර්ධනය අනුව වර්ග කළ පෞරුෂ වර්ග කිහිපයක්ද දැක ගත හැකිය. එනම්, x කාය සක්ඛි - සමාධි ඉන්ද්‍රිය බලවත් අය x සද්ධා විමුත්ත - සද්ධින්ද්‍රිය බලවත් අය x ද්ට්ඨප්පත්ත - පඤ්ඤින්ද්‍රිය බලවත් අය යන තුනයි. විවිධ පරිසර තත්වයන්හිදී විවිධ පුද්ගලයන් විවිධ ප‍්‍රතිචාර දක්වති. ඒ ඔවුන්ගේ පෞරුෂ ස්වභාවයන් අනුවය. 

බාහිර ලෝකයේ සිදුවීම්වලට මුහුණ දෙන ආකාරය අනුව හා ජීවිත අද්දැකීම් සකස් කර ගන්නා ආකාරය අනුව හැඳින ගත හැකි ත‍්‍රිපුද්ගල පෞරුෂ ප‍්‍රභේදයක් ද අංගුත්තර නිකායේ සඳහන් වෙයි. ඒ මෙසේය. 

 x අරුකූපම චිත්තෝ පුග්ගලෝ - පැරණි වණයක් බඳු සිත් ඇති තැනැත්තෙකි. කිපෙන සුලූය. උපායාස බහුලය. කියන ලද සුලූ දෙයෙහි රැුඳෙයි. ද්වේශයත් නොසතුටත් පළ කෙරෙයි. පාරන ලද පරණ තුවාලයක් සැරව වගුරන ලෙස කෝපය වගුරුවයි. x විජ්ජූපම චිත්තෝ පුග්ගලෝ - ගණඳුරෙහි විදුලි එළියෙන් ? දකින්නා සේ දුක, දුක උපදනා හේතුව, එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දකියි. 

x වජිරූපම චිත්තෝ පුග්ගලෝ - වජ‍්‍රයෙන් පාෂාණයක් බිඳින්නා සේ ආශ‍්‍රව ක්ෂය කරයි. මනස තුළ කෝපය හටගත් විට ඒ පිළිබඳ ක5ියා කරන ආකාරය අනුවද පෞරුෂ වර්ග තුනක් දක්වා ඇත. x පාෂාණ ලේකූපම පුග්ගලෝ - මොහු නිතර කිපෙන අතර කෝපය දිගු කල් පවතියි. x පඨවි ලේඛූපම පුග්ගලෝ - නිතර කිපෙයි. නමුත් මොහුගේ කෝපය දිගු කල් නොපවතියි. x උදක ලේඛූපමෝ පුග්ගලෝ - අප‍්‍රිය කර්කශ අවස්ථාවලදී කිපෙයි. නමුත් කෝපය සැනෙකින් පහව යයි. 

 පුද්ගලයාගේ බුද්ධිය අනුව කරන ලද පෞරුෂ වර්ගීකරණයක්ද අංගුත්තර නිකායෙහි ඇතුළත් වෙයි. එනම් යම් කිසි ධර්ම කරුණක් හෝ වෙනත් තොරතුරක් මනස වෙත යොමු කරගන්නා ආතාරය හා එය අවබෝධ කරගන්නා ආකාරය අනුවය. x අවකුජ්ජ පඤ්ඤ - යම් ධර්ම කරුණක් අසන ිවට අවධානයෙන් සවන් නොදෙයි. නැතව මෙනෙහි කිරීමක්ද නැත. ඉක්මනින් අමතක වී යයි. x උච්ඡුංග පඤ්ඤ - යම් ධර්ම කරුණක් හෝ දේශනාවක් අසන විට අවධානයෙන් අසයි. 

 එහෙත් පසුව මෙනෙහි නොකරයි. මනසින් එම දැනුම මැකී යයි. x පුථු පඤ්ඤ - මුල මැද අග අවධානයෙන් අසයි. නැවත නැවත මෙනෙහි කරයි. ප‍්‍රාඥයෙක් වෙයි. මෙයටම සමරූපී, යමක් අවබෝධ කරගැනීමේ ශක්තිය පදනම් කරගත් පෞරුෂ වර්ගී කරණයක් අංගුත්තර නිකායේ නෙය්‍ය පුග්ගල සූත‍්‍රයේ සඳහන් වෙයි. 

 x උග්ගටිත විඤ්ඤූ පුගගලෝ - කියාදුන් විගම යමක් අවබෝධ කරගනියි. x විපචිත විඤ්ඤූ පුග්ගලෝ - යමක් කියා දී කවදුරටත් මගනේවීමෙන් අවබෝධ කරගනියි. x නෙය්‍ය පුග්ගලෝ - නැවත නැවත විමසීමෙන් හා සාකච්චා කිරීමෙන් අවබෝධ කරගනියි. x පද පරම - කොතරම් කියා දුන්නත් අවබෝධ කරගැනීමට අපහසු පුද්ගලයා මේ ආකාරයෙන් විවිධ පෞරුෂ වර්ගයන් බෞද්ධ සූත‍්‍ර තුළින් ඉස්මතු කරගත හැකිය. 

 පශ්චාත් බෞද්ධ මූලාශ‍්‍රයක් වූ විසුද්ධි මග්ගයෙහිද පෞරුෂ විවිධත්ව දක්වමින් චරිත හයක් දක්වා ඇත. x රාග චරිත - රාගය බහුල පුද්ගලයන් x ද්වේශ චරිත - ද්වේශය බහුල පුද්ගලයන් x මෝහ චරිත - මෝහය අධික පුද්ගලයන් x ශ‍්‍රද්ධා චරිත - ශ‍්‍රද්ධාව අධික පුද්ගලයන් x බුද්ධි චරිත - බුද්ධිය අධික පුද්ගලයන් x විතක්ක චරිත - විතර්ක බහුල පුද්ගලයන් යනුවෙන් චරිත වෙන් කිරීමක් දැක ගත හැකිය. 

බෞද්ධ දර්ශනය තුළ මෙම පෞරුෂ වර්ගීකරණයන්ගේ විශේෂත්වය නම් ආරෝහණ හෝ අවරෝහණ යම් පිළිවෙළකට ඉදිරිපත් කර තිබීමයි. එමගින් දුර්වල පෞරුෂ තත්වයේ සිට උසස් පෞරුෂයක් දක්වා වර්ධනය ඇති කර ගැනීමට මග පෙන්වීමක්ද කර ඇති බව සැලකිය හැකිය. 

 පෞරුෂ සංවර්ධනය නූතන මනෝවිද්‍යා ක්ෂේත‍්‍රය තුළ පෞරුෂ සංවර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්නේ බිළිඳු අවධියේ සිට සිදුවන පුද්ගලයාගේ කායික, ප‍්‍රජානනික හා චිත්තවේගීමය වශයෙන් වැදගත් වන පෞරුෂ ල්කෂණයන්ගේ වර්ධනයයි. නමුත් බදු දහමෙහි පෞරුෂ සංවර්ධනය ඊට වෙනස් ආරකින් ඉදිරිපත් වෙයි. ‘

කායික පරිණාමය සමග සිදු වන මානසික පරිණතියට විශේෂ වැදගත්කමක් ලබා දෙන බුදු දහම පෞරුෂ සංවර්ධනය ලෙස සලකන්නේ පුද්ගලයා විසින් සිතා මතා සංවරධනය කර ගත හැකි හා පුද්ගල ශක්තිය යොදවා ලගා කරගත හැකි සංවර්ධනයන්ය.’ 

 එහිදී විශේෂයෙන්ම ඍණාත්මක යැයි සැලකෙන පෞරුෂ ලක්ෂණ දුරු කොට ධනාත්මක පෞරුෂ ලක්ෂණ පුද්ගලයා තුළ වර්ධනය කිරීම ඉලක්ක කරගත් මග පෙන්වීමක් ලෙස සැලකිය හැකිය. පෞරුෂ සංවර්ධනයට බලපාන ප‍්‍රධාන සාදක දෙකක් නූතන මනෝවිද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තිබෙයි. 

එනම්, ආරමය සාදක හා පරිසරමය සාදක (භෞතික හා සමාජ* යන දෙකයි. නූතන මනෝවිද්‍යාව තුළ මෙම ආරමය සාදක යටතේ සාකච්චා කෙරෙන්නේ පුද්ගලයා උපතේදී සිදු වන ජානමය උරුමයෙන් ප‍්‍රවේණිගතව හිමි වන ලක්ෂණයන්ය. 

නමුත් බුදු දහමට අනුව පෙර භව වල පැවති පෞරුෂ ලක්ෂණයන්ද ලැබිය හැකි බව පිළිගැනෙයි. එසේම පරිසර සාදකයද වැදගත් කොට සලකන බුදු සමය සුදුසු ප‍්‍රදේශයක වාසය කිරීම (මංගල සූත‍්‍රය*, බවුන් වැඞීමට සුදුසු පරිසරයක් තෝරා ගැනීම, කල්‍යාණ මිත‍්‍රයන් ආශ‍්‍රය කිරීම වැනි කරුණු වැදගත් කොට පෙන්වා දෙයි. බුදු දහමේ පෙන්වා දෙන්නේ ස්වයං සාධනීම පෞරුෂ සංවර්ධන මග පෙන්වීමකි. ඒ මත පදනම්ව බුදු දහම පෞරුෂ සංවර්ධනයට බලපාන සාධක හතරක් ඉදිරිපත් කරයි. එය නූතන මනෝවිද්‍යාවේ විෂය පථයන්ටද හසු නොවූ හෙළි කිරීමකි. x සත් පුරුෂ ආශ‍්‍රය (සප්පුරිස සංසේව* x සද්ධර්ම ශ‍්‍රවණය (සද්ධම්ම සවණ* x සිහි නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාර* x ධර්මානුකූල ප‍්‍රතිපදාව (ධම්මානුධම් පටිපත්ති* යන හතරයි.

 මේ පිළිබඳව විද්‍යාත්මක පදනමකින් බැලීමේදී සමාජ පරිසරය, අධ්‍යාපනය, ප‍්‍රජානන හා විශ්ලේෂණ හැකියාව, ක‍්‍රමානුකූල පුහුණුව යන සාදක පෞරුෂ සංවර්ධනයට බලපාන බව පෙන්වා දිය හැකිය. මෙයින් මුල් සාදක දෙක සාමාන්‍ය පෞරුෂ සංවර්ධනයට අදාළ වෙයි. අනෙක් දෙක අතුරින් යෝනිසෝසනසිකාරයෙන් සිදු කරනුයේ තම අද්දැකීම් බුද්ධියෙන් විමසා බැලීම හා අවශ්‍ය නම් ඒවා ක‍්‍රමානුකූල පුහුණුවක් මගින් වෙනස් කර ගැනීමයි. මෙහි ක‍්‍රමානුකූල පුහුණුව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය සීල සමාධි ප‍්‍රඥා යන ත‍්‍රිවිධ ශික්ෂා මාර්ගයකට අනුව පුහුණු කළ යුතුය. 

 එමගින් ක‍්‍රමානුකූලව ඇති කරගන්නා වූ පෞරුෂ වර්ධනය සම්මා සමාධියෙන් ප‍්‍රඥාව පහළ කරගත් විට සාමාන්‍ය පෞරුෂ පරිණත භාවයෙන් එහා ගිය පරිපූර්ණ පිරිසිදු පෞරුෂ සංවර්ධනයකට පුද්ගලයා පත් වෙයි. මීට අමතරව පෞරුෂ ස්වභාවයන්ට හෙවත් වර්ගීකරණයන්ට අනුවද පෞරුෂ සංවර්ධනයට විශේෂ මගපෙන්වීමක් සිදු කර ඇත. රාග බහුල පුද්ගලයන්ට අශුභ භාවනාවත්, ද්වේශ අධික පෞරුෂයන්ට මෛත‍්‍රි භාවනාවත්, 

මෝහ බහුල පෞරුෂයන්ට අනිච්ච සඤ්ඤාව වැඞීමත් වශයෙන් භාවනා මාර්ගය වැදගත් පෞරුෂ සංවර්ධන මාවතක් ලෙස පෙන්වා දී ඇත. මේ අනුව බලන විට බුදු සමය පුරාම විසිරී පැතිරී තිබෙන ධර්ම කරුණු සලකා බැලීමේ දී ඒ අතුරෙන් බහුතරකත් දේ*ශනා කොට ඇත්තේ ඍණාත්මක පෞරුෂ ලක්ෂණයන් දුරු කර ධනාත්මක පෞරුෂ ලංක්ෂණ පුද්ගලයා තුළ සංවර්ධනය කිරීමට බව පැහැදිළි වෙයි. 

 නිගමනය පුද්ගල පෞරුෂය පිළිබඳව බෞද්ධ විග‍්‍රහය සැලකිල්ලට ගැනීමේදී පුද්ගලයාගේ බාහිර ස්වරූපය ගැඹුරින් විග‍්‍රහ කර තිබුණද එතකින් සීමා වන්නේ නැත. එසේම පුද්ගල පෞරුෂය තුළ එයට ආවේණික ස්වරූපය තීරණය කරන යම් විශේෂ වූ සාරයක් හෝ පදාර්ථයක් ගැන අදහසක් ඉදිරිපත් වන්නේද නැත. 

ඒ අනුව පෞරුෂය පිළිබඳ බෞද්ධ නිර්වචනය මගින් පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික තත්වයන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් බාහිර භෞතික හා චර්යාමය තත්වයන්ද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කරන අතර එය සමස්ත ආවරණමය පෞරුෂ නිර්වචනයක් ලෙස හඳුන්වා දිය හැකිය. තවද බෞද්ධ මනෝවිද්‍යාවෙහි පෞරුෂ වර්ගීකරණය සහ පෞරුෂ සංවර්ධන මගිපෙන්වීම පිළිබඳව නූතන මනෝවිද්‍යාව හා සන්සන්දනාත්මකව විමසීමේදී බෞද්ධ පෞරුෂ සංකල්පය බොහෝ ඉදිරියෙන් සිටින බවද සැලකිය හැකිය. ආශ‍්‍රිත ග‍්‍රන්ථ පඤ්ඤාරතන හිමි, මහමීතව. සහ ඉලංගකෝන් සමන්ත,

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...