#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

මොකද්ද මේ හැමෝම හංගන ඔසප් වීම ?

''අද මම ඉස්කෝලේ යන්නේ නැහැ ........මට සනීප නැහැ “ 

සකුන්තලා හෙමින් කීවේ කුමාරිට විතරක් ඇහෙන්න. මාසෙකට වතාවක් මේ ගැහැණු ළමයි දෙන්න දවස් තුනක් නිවාඩු ගන්නවා. මේකට හේතුව එයාලගේ තාත්තා සහ අයියලා දැනගෙන හිටියේ නැහැ. මේ රහස අම්මයි දුවල දෙන්නයි අතරේ විතරයි තිබ්බේ.ගෙට වුණාට පස්සේ මාසෙකට වතාවක් රුධිරය පිටවන කාලයට මස් , මාළු වගේ පිළී ජාති සහ බැදපු පුළුටු වර්ග කන්න හොඳ නැහැ කියලා ආච්චි අම්මා සකුන්තලාගේ අම්මා ඉන්ද්‍රාණිට කියලා දීල තිබ්බේ. ඉන්ද්‍රාණිත් ඒ දේවල් ඒ විදිහටම දුවලට කියල දුන්නා. ඒ දවස් වල තනියම එහෙ මෙහෙ යන එකත් මළ පෙරේත බැල්මක් වැටෙන්න හේතුවක් නිසා එළිපහලියට ගියෙත් නැහැ.ළමයි ඉස්කෝලේ ගියාම ඇඳගෙන ඉන්න රෙදි අස්සෙන් ලේ සුදු ගවුමේ ගෑවෙද්දී හරිම කරදරයි. පිරිමි ළමයිට හොරෙන් වහගෙන ගිහින් හෝදන එක මහා වදයක්. ඒ වගේම ඒ කාලෙට සෙල්ලමක්වත් කරන්නත් බැහැනේ. ඉතින් ළමයි ඉස්කෝලේ යන්න කැමති වුණෙත් නැහැ. මේක තමයි ගොඩක් දකුණු ආසියාතික රටවල ග්‍රාමීය ගැහැණු ළමයින්ගේ කතාව. ඔවුන්ගේ ඉගෙනීමට මාස් ශුද්ධිය කියන්නේ ලොකු බලපෑමක් කරන දෙයක්.ඔසප් වීම කියන්නේ ගුප්ත දෙයක් නෙවෙයි.

ඔසප් වීම යනු සරලව කාන්තාවන්ට මසකට වරක් ගර්භාශයේ සිට රුධිරය සහ පටක බිත්ති යෝනි මාර්ගය හරහා පිටතට පැමිණීමයි. මාසික ඔසප් චක්‍රය විසින් කාන්තා සිරුර සෑම මසකම ගර්භිණී වීමට සූදානම් කරවනවා. ගර්භිණී නොවන අවස්ථා වලදී ඔසප් රුධිරය පිටතට පැමිණෙනවා. මාසික ඔසප් චක්‍රය පාලනය කරන්නේ estrogen සහ progesterone යන හෝමෝන මගිනුයි.  

කාන්තා සිරුරේ ඇති ඩිම්බ කෝෂ ( ovaries) මගින් ඩිම්බ සෛල නැත්නම් බිත්තර පොකුරක් දරා සිටිනවා. මාසික ඔසප් චක්‍රයේදී හෝමෝන මගින් එම බිත්තර වලින් එකක් පරිණත කරවනවා. එම හෝමෝන මගින්ම කාන්තා ගර්භාශයේ බිත්තිය දැඩි බවට පත් කරවනවා. පරිණත වුණ ඩිම්බ සෛලයට ශුක්‍රාණුවක් හමු වුණොත් ඒ දෙක එකතු වෙලා කලලයක් ලෙස වැඩෙන්න මේ ගර්භාෂ බිත්තිය දායක වෙනවා. මේ දැඩි වුන බිත්තියේ තිබෙන්නේ පටක සහ රුධිරය. 

මෙම ඔසප් චක්‍රයේ මැද දිනක ඩිම්බ කෝෂ මගින් පරිණත ඩිම්බය මුදා හරිනවා, එය පැලෝපීය නාලය හරහා ගර්භාෂය වෙත ළගා වෙනවා. මේ බිත්තරය ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා සංසේචනය වීම මගින් කලලයක් බිහි කළ නොහැකි වෙලාවට කාන්තා සිරුරට තව දුරටත් ඒ තද ගර්භාෂ බිත්තිය අවශ්‍ය නැති වෙනවා. එවිට එය බිඳිලා රුධිරය සහ පටක එළියට එනවා. අන්න ඒක තමයි මේ කවුරුත් අශුද්ධ යයි සලකන ඔසප් රුධිරය පිටතට එන ක්‍රියාවලිය. එය අධ්‍යනය කර බැලුවොත් මාසය පුරා සිදුවන ජීව ක්‍රියාවක් හැර වෙනත් ගුප්ත බවක් නොමැති බව ඔබට වැටහෙනවා. 

ඒ දවසත් සාමාන්‍ය දවසක් වගේ ගෙවන්නේ කොහොමද ?
ආසියාවේ සහ අප්‍රිකාවේ ග්‍රාමීය පලාත්වල දැරියන්ගේ පාසල් අධ්‍යාපනයට මරු පහරක් වෙලා තිබෙනවා මෙම ඔසප් රුධිරය පිටවන දවස්. එයට හේතු වෙන්නේ රුධිරය එලියට ගමන් කිරීම නිසා ඇතැම් දරුවන් පාසල් යාම මඟහැරීම නිසායි. ඒ දිනවලටත් සාමාන්‍ය දිනයක වගේම ක්‍රියාශීලීව ඉන්න නම් නිසි ලෙස , සෞඛ්‍යාරක්ශිතව එම රුධිරය උරා ගැනීමට මාධ්‍යයක් තිබිය යුතුයි. 

රෙදි භාවිතය පැරණිම ක්‍රමය වුනත් නූතන ලෝකයේ කාන්තාවන්ගේ භූමිකාව වෙනස් වීම එක්ක සනීපාරක්ෂක තුවා වඩා හොඳ , පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ලෝකය පුරා ප්‍රචලිත වුණා. ටැම්පූන්, ඔසප් කප් වගේ නිෂ්පාදන ලෝකයට ආවත් ඒවාගෙන් සිදුවෙන හානි හෝ ප්‍රතිලාභ ගැන තවමත් වෛද්‍යවරු එක මතයකට ඇවිත් නැහැ. 

ඔසප් දින වලදී රෙදි භාවිතා කිරීම ප්‍රයෝජනවත්ද?
පහුගිය කාලයේ ඇතිවුන කතාබහට අනුව බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණා පැරණි කාලයේ වගේම රෙදි භාවිතාව වඩා යෝග්‍ය බව. කනගාටුවට කරුණ වන්නේ බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී කාන්තාවන්ගේ සෞඛ්‍යයට බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරන්නේ කෙසේද නොදැන සිටීමයි. රෙදි භාවිතා කරනවා නම් ඒවා සෝදා හොඳට ඉර අව්වේ වේලන්න ඕනේ. එසේ නොවුනොත් රුධිරය වැනි පහසුවෙන් විෂබීජ වර්ධනය වන මාධ්‍යයක් සහිත එම රෙදි වලින් කාන්තාවන්ගේ ගැබ්ගෙල ආසාධන වලට ලක්වීමට ඉඩ තිබේ.

ආර්තවය සම්බන්ධ ගැටළු වලදී වෛද්‍යවරයෙක් හමු විය යුතු අවස්ථා මොනවාද?
කාන්තාවකගේ ආර්තව රුධිරය පිට වීම අක්‍රමවත් නම් වහාම වෛද්‍යවරයෙක් හමු විය යුතුය. PCOS රෝගය වැනි හෝමෝන අසමතුලිතතාවක්, ගර්භාෂයේ ගෙඩි (Fibroids), තෛරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රමිකතා වීමට ඉඩක් තිබේ. එවැනි රෝගයක් නොසලකා සිටීමෙන් මද සරු භාවය සහ වෙනත්  සෞඛ්‍යය සංකූලතා ඇති විය හැකිය. 

loaading...
ඔසප් චක්‍රය සහ ක්‍රියාශීලී වීම අතර සම්බන්ධය 
ඔසප් චක්‍රයේ නිරෝගී බවට ඔබ ගන්නා ආහාර සහ ජීවන රටාව බලපෑම් කරයි. මානසික පීඩනය අධික වීම , කෘතීම ආහාරපාන වැඩිපුර ආහාරයට එක් කර ගැනීම , ව්‍යායාම රහිත කම්මැලි ජීවන රටාව මෙන්ම අධිකව ශරීරය වෙහෙසීමද ඔසප් චක්‍රයේ වෙනස්වීම් වලට හේතු වේ. 

මාසික ඔසප් රුධිරය වහනය වන කාලයද සාමන්‍ය කාලයක් ලෙස සලකා කටයුතු කිරීමට තරම් නූතන දියුණු යුගයේ වැඩිහිටියන් කටයුතු කළ යුතුය. මේ කාලයේදී ශරීරය පිරිසිදුව තබා ගැනීම මෙන්ම වෙනදා මෙන්ම ක්‍රියාශීලීව ව්‍යායාම ආදිය කරමින් සාමන්‍ය ලෙස ජීවන රටාව ගෙන යාමට අප උනන්දු විය යුතුය. ව්‍යායාම කිරීම මගින් මාසික ඔසප්  රුධිරය පිටවන කාලයේදී හෝමෝන වෙනස්කම් නිසා ඇති වන මානසික පීඩා වලට මෙන්ම කායික පීඩා වලට ලොකු සහනයක් ලැබේ.

(නාරි හා ප්‍රසවවේදී මහාචාර්ය හේමන්ත සේනානායක මහතාගේ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිනි. පහත සබැඳිය හරහා එම සංවාදය ඔබට නැරඹිය හැක) 



View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...