#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

පනස් නව වසරක් විවර⁣ නොකළ දොරටුව

මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ ක්‍රි.ව. 1960 දී විතර කියලා තමයි, මේ කතාව මගෙත් එක්ක කීව අත්තනායක සීයා කීවේ. මේ අත්තනායක සීයා මගේ ගමේම කෙනෙක්.

අපේ ගම ඉස්සර ඒකියන්නේ හැට ගනන්වල හරිම දුෂ්කර ගමක්ලු. ගමේ ගෙවල් තිබුනෙත් පනහකට අඩු සංක්‍යාවක් ලු. ඒ කාලේ අපේ ගමේ ඉඳලා තියෙනවා හේතුහාමි කියලා ගුරුන්නාන්සේ කෙනෙක්. මුලු පලාතේම නම ගියපු, මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ, සුපිරිම වැඩ්ඩෙක්ලු. ඒ විතරක් නෙවෙයි මේ හේතුහාමි ගුරුන්නාන්සේ යක්කුන්ගෙන් පවා වැඩගත්ත කෙනෙක්ලු.

අපේ ගමට අල්ලපු ගමෙත් ඒ කාලේ පිංහාමි කියලා ගුරුන්නාන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ පිංහාමි ගුරුන්නාන්සේ යි, හේතුහාමි ගුරුන්නාන්සේ යි, පොඩි කාලේ හොඳම යාලුවෝ වෙලයි ඉඳලා තියෙන්නේ. ඒත් තරුණ වයසට එනකොට ඒ යාලුකමට කනකොකා හඬන්න පටන්ගත්තේ බිසෝමැණිකේ කියන ලස්සන තරුණියක් හේතුවෙනුයි.

අපේ ගමට යාබද ගමක හිටිය මේ බිසෝමැණිකේව, හේතුහාමිටයි පිංහාමිටයි මුලින්ම හමුවෙලා තියෙන්නේ බිසෝමැණිකේලාගේ ගමේ තිබුණ තොයිල්පලකදියි. මේ තොයිලය කරලා තියෙන්නේ හේතුහාමියි, පිංහාමියි එකතුවෙලා. දෙන්නාම අති දක්ෂයෝ වීම නිසා ඒ තොයිලේ අවසන් වෙද්දිම ආතුරයටත් සම්පූර්ණ සුවයක් ලැබිලා. ආතුරයාට ඒ විදිහට සුව වෙද්දී, හේතුහාමියි පිංහාමියි ප්‍රේමාතුරයින් බවට පත්වුනේ, බිසෝමැණිකේ පිළිබඳ සිතක් දෙදෙනාගේම සිත් තුළ පැලපදියම් කරගෙනයි. එහෙත් දෙදෙනා කොපමණ මිත්‍රයින් උනත්, දෙදෙනාගෙන් එකෙකුවත් අනෙකාට මේ සම්බන්ධව කිසිවක් කීවේ නෑ. ඔවුන් දෙදෙනා එකිනෙකාට හොරෙන් බිසෝමැණිකේගේ සිත දිනාගැනීමට වැඩපිළිවෙළවල් සකස්කරා.

මේ දෙදෙනා අතරින් පිංහාමි ටිකක් ඉවසීම අඩු, අමුතු විදිහේ මිනිහෙක්ලු. හේතුහාමි හොඳ මාර්ගයෙන්, ඒ කියන්නේ වැදගත් අයුරින් බිසෝමැණිකේ හමුවී තම අදහස පවසද්දී, ⁣පිංහාමි කළේ මන්තර ගුරුකම් භාවිතයෙන් බිසෝමැණිකේව තම වසඟයට ගන්නට තැත්කිරීමයි.

ඒ විදිහට පොඩි පොඩි ගුරුකම් කීපයක්ම පිංහාමි විසින් සාර්ථකව සිදුකළත්, බිසෝමැණිකේගේ සිත වසඟ කර ගැනීමටනම් පිංහාමිට හැකිවුණේ නෑ. තමංගේ මන්තර ගුරුකම් ගැන සියයට සියයක්ම විස්වාස කළ පිංහාමි, තමාට බිසෝමැණිකේ වසඟ කර ගැනීමට නෙහැකි වීමට හේතුව මොකක්ද කියලා කල්පනා කරන්නට පටන් ගත්තා. මේ වගේ ගුරුකම් සාර්ථක නොවන්නටනම් එකම හේතුවයි තියෙන්නේ... ඒ හේතුව තමයි තමා බිසෝමැණිකේගේ සිත වශීකර ගැනීමට සිදු කළ හැම ගුරුකමක්ම, තවත් තමා වැනිම දක්ෂයෙක් විසින් කපා දැමීම. තමා තරම්ම දක්ෂ වූයේ කවුදැයි කියා පිංහාමිට අවබෝධ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එදා ඉඳලා හේතුහාමි ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නට පිංහාමි වගබලා ගත්තා.

එක දවසක් මේ පිංහාමි බිසෝමැණිකේලාගේ නිවස කිට්ටුව පොඩි වනලැහැබකට වෙලා හොරගල් අහුලමින් ඉන්නකොට, හේතුහාමි බිසෝමැණිකේ සමග ඇගේ නිවස දෙසට යනවා දැක්කා. ⁣ජැන්ඩිපහට ඇඳලා හිටපු හේතුහාමිගේ අතේ එල්ලීගෙන උකුලු මුකුලු කරමින් යන බිසෝමැණිකේව දැකපු පිංහාමිගේ ඇහේ කටු අනිනවා වගේ උනා. තමාට වඩා හේතුහාමි ගොඩක් ඉස්සර වෙලා කියලා දැනෙන්න දැනෙන්න පිංහාමි හේතුහාමිට වැඩි වැඩියෙන් වෛර කරන්න පටන්ගත්තා.

මුලින් මුලින් ඒ වෛරය එලිපිට නොපෙන්නුවත්, හේතුහාමි බිසෝමැණිකේව කැන්දාගෙන එන්න සූදානම් වන ආරන්චිය පිංහාමිගේ කන වැටුණු දවසේ ඉඳලානම් එයා එලිපිටම හේතුහාමිට වෛර කරන්න පටන්ගත්තා.

මේ විදිහට එක දවසක් හවස් වරුවක, හේතුහාමි බිසෝමැණිකේ බලන්න යන්න පිටත්වුනේ ලොකු ආනමාලු කෙහෙල් කැනකුත් කර තියාගෙනයි. ඉස්සර දැන් වගේ පාරවල් තිබුණේ නෑ. කැලයක් මැදින් වැටිලා තිබ්බ අඩිපාරක තමයි හේතුහාමි ගමන්කරමින් හිටියේ. ගොම්මන් අඳුරත් වැටිලා තිබුණ වුනත්, ⁣යකෙකුටවත් බයනැති හේතුහාමිට නම්, ඒ ගැන වගේ වගක් තිබුණේ නෑ. මේ විදිහට හේතුහාමි අඩිපාර දිගේ ගමන්කරනකොට, ඉදිරියෙන් ලොකු ගොරකා ගහක් හම්බවුනා. මින්සුන් දෙදෙනෙකුටවත් බදන්න බැරි තරම් විශාල වූ ඒ ⁣ගොරකා ගහ ලඟින් යද්දි එකපාරම හේතුහාමිගේ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා. හරියට කවුරුහරි කෙනෙක් තමන්ගේ අහල පහල ගැවසෙනවා වගේ තමයි හේතුහාමිට දැනුනේ. ඒත් කිසිම කෙනෙක් පෙනෙන්න නම් හිටියේ නෑ. ඒත් හේතුහාමිට හොඳටම විශ්වාසයි තමන්ට දැනුණු දේ සත්‍යක් කියලා.

" මෙතන ඉන්නේ මොකා උනත් කමක්නෑ... තෝ මගේ පස්සෙන් එනවානම් තොගේ මූන මට පෙණෙන විදිහට වරෙන්.... මේ හේතුහාමි කියන්නේ කව්ද කියලා උඹට තේරෙනවා ඇතිනේ...."

එහෙම කියපු හේතුහාමි ගමන්කරමින් හිටිය අඩිපාරේ එහෙම්මම බිම ඉඳගත්තා. එහෙම ඉඳගෙන ගොරකා ගහ දිහා බලාගෙනම මතුරන්න පටන් ගත්තා.

හේතුහාමිට වැඩි වෙලාවක් එහෙම මතුරන්න සිද්ධ වුනේ නෑ. ⁣ඒ ගොරකා ගහේ මුදුනෙ ඉඳලා බැහැගෙන තමන් දිහාවට එන, කලුම කලු එක්තරා රූපයක් හේතුහාමිට දකින්න ලැබුණා. එ් වෙනකොට කළුවරත් වැටිලා තිබුණ නිසා, ගහෙන් බැහැලා එන රූපය දුර තියා හරිහැටි නොපෙනුනත්, සුලු වේලාවකින් ගහෙන් බැහැලා තමන් දිහාවට එ් රුව කිට්ටු වෙනකොටම හේතුහාමි දැනගත්තා ඒනම් බලගතු යක්ෂ ආත්මයක් කියලා. ඒත් හේතුහාමිනම් පොඩ්ඩක්වත් බයවුනේ නෑ. මතක ඇති කාලේ ඉඳලාම යක්කුත් එක්ක හැප්පිලා පලපුරුද්දක් තිබුණ හේතුහාමි, ගහෙන් බැහැලා ආව යක්ෂයා මෙල්ල කරගන්න අවශ්‍ය මන්තරයක් ජපකරන්න පටන්ගත්තා. වැඩිවෙලාවක් යන්න කලින් අර යක්ෂයා පූස්පැටියෙක් වගේ හේතුහාමිට මෙල්ලවුනා.

" උඹ කොහේ ඉඳලාද මගේ පස්සෙන් එන්න පටන්ගත්තේ? "

හේතුහාමි යක්ෂයාට තර්ජනය කරමින් එහෙම ඇහුවා.

" උඹේ ගෙදර ලඟ ඉඳලම මම උඹේ පස්සෙන් ආවා. "

" මොකටද මගේ පස්සෙන් ආවේ? කවුද උඹට එහෙම කරන්න අණ කළේ? "

" මම ආවේ උඹේ බොටුව මිරිකලා ලේ බොන්න.... එහා ගම්මානේ ඉන්න පිංහාමි තමයි මාව උඹේ පස්සෙන් එවුවේ..... "

යක්ෂයා බොරු නොකියන බව හොඳහැටි තේරුම් ගත්ත හේතුහාමි, තවත් මන්තරයක් මතුරන්න පටන්ගත්තා. ඒ හඬ ඇහෙනකොටම අර යක්ෂයා අපහසුවෙන් ඇඹරෙන්නත්, කෑගසන්නත් පටන්ගත්තා.

" ඕක නවත්තපං...... ඕක නවත්තපං.... මට ඉන්න බෑ මාව පිච්චෙනවා.... මම උඹ කියන ඕනදෙයක් කරන්නම්, ඕක නවත්තපං.... "

යක්ෂයා අපහසුවෙන් එහෙම කෑගහන්න පටන්ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ මැතිරීම නවත්තපු හේතුහාමි අර යක්ෂයා අමතලා, තමන්ගේ පස්සෙන් ඌව එවපු එකා ලඟටම ආපහු ගිහින් ඌගේ දුර්වල වෙලාවක් බලලා උගේ බොටුව මිරිකලා ලේ බොන්න කියලා අණ කරාලු.

එදා බිසෝමැණිකේලාගේ ගෙදර ගිහින් හේතුහාමි ආපහු ගෙදර ආවේ රෑ දෙගොඩහරි ජාමේත් පහුවෙලා. එහෙම ආව හේතුහාමි ඇඟපත එහෙම හෝදාගෙන මුලින්ම කලේ, තමන්ට හිතවත් යක්ෂයෙක් කැඳවලා ඒ යක්ෂයා බිසෝමැණිකේගේ ආරක්ෂාවට පිටත්කර හැරීමයි. ඒ යක්ෂයා ගොඩක් බලගතු යක්ෂයෙක් නිසා, වෙනත් බලයෙන් අඩු යක්ෂයින්ට බිසෝමැණිකේගේ කිට්ටුවටවත් යන්න පුලුවන් වුනේ නෑ. එහෙම ගියපු යක්ෂයා බිසෝමැණිකේලාගේ ඉඩමේ කොනක තිබුණ ගහකට අරක්ගත්තාලු.

හේතුහාමිට විනකටින්න එවපු යක්ෂයා ආපහු ගිහින් පිංහාමි පස්සෙන් යන්න පටන්ගෙන තියෙන්නේ එයාගේ දුර්වල වෙලාවක් බලබලයි. හේතුහාමි වගේම පිංහාමිත් දක්ෂයෙක් වීම නිසාම තමන්ගේ පිටුපසින් නිතරම එන යක්ෂයා ගැන තේරුම්ගන්න පිංහාමිට වැඩි කාලයක් ගිහින් නෑ. තමා අටවපු උගුල ගැන හේතුහාමි දැනගත්තා කියලා පිංහාමිට දැනුනාම, පිංහාමි තමන්ගේ ගෙදර වටේට පුලුවන් තරම් ආරක්ෂාවල් දැම්මා. ඒ මොකද හේතුහාමිත් ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි කියන්න පිංහාමි දැනගෙන හිටියා.

ඒ මොනවා උනත් හේතුහාමිනම් පිංහාමිට කිසිම කරදරයක් කළේ නෑ. කලින් වතාවේ තමන්ට හානි කරන්න ආව යක්ෂයාව ආපහු පිංහාමි පිටිපස්සේ යැවුවෙත්, තමන්, ඔහු අටවපු උගුල ගැන දැනගත්තා කියලා අඟවන්න විතරයි. මොකද තමන් වගේම දක්ෂ ඇදුරෙක් වුන පිංහාමිගේ ජීවිතේට හානියක් කරන්න යක්ෂයෙකුට බැරි විත්තිය හේතුහාමි හොඳාකාරවම දැනගෙන හිටියා.

මේ විදිහට කාලයක් ගතවෙලා හේතුහාමියි, බිසෝමැණිකෙයි, අතිනත ගන්න දවසත් එලැඹුනා. ඒ වෙන තුරුම බිසෝමැණිකේ ගැන තිබුණ අදහස පොඩ්ඩක්වත් වෙනස් නොවී තිබීම හේතුවෙන්, මේ ආරන්චිය කනවැකුනු වහාම පිංහාමි දන්ඩෙන් පහර කාපු නාගයෙකු වගේ කෝපයට පත්වුනා. මේ විවාහය නවත්වන්නට දන්න හැම ගුරුකමක්ම කෙරුවත්, ඒ හැම වැඩක්ම හේතුහාමිගේ දක්ෂතාවය හේතුවෙන් ව්‍යාර්ථ වෙලා යනකොට, පිංහාමි තමන්ට ගන්න තියෙන අවසාන තීරණය අරගත්තා.

බිසෝමැණිකේ ලබාගැනීමටත් වඩා පිංහාමිට අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලවා තමන්ගේ ආශාවල් ඉෂ්ඨ කර ගැනීමේ අවශ්‍යතාවයක්. එහෙත් ඒ ආසාව ඉෂ්ඨ කරගන්න බැරිවුන නිසා පිංහාමියි, බිසෝමැණිකෙයි ජීවත් වෙලා ඉන්නකන්ම උන්ගෙන් පලිගන්න පිංහාමි තීරණය කලා. ඒත් තමා දන්නා සාස්තරෙන් මොනදේ කලත් ඒ හැම දේම හේතුහාමි කපලා දාන නිසා, තමන්ගේ ආත්මය යක්ෂයාට බාර කරලා, බලගතු යක්ෂ ආත්මයක උප්පත්තියක් ලබලා තම හතුරන්ගෙන් පලිගන්න ⁣අවසානේ පිංහාමි තීරණය කලා. තමන් ලඟ තිබුණ ගුප්ත ගුරුකම් ලියා තිබුණ පුස්කොල පොතක් අතට ගත්තු පිංහාමි, ඒ පොතේ එක් පිටුවක් සිය වතාවක් විතර කියවලා එහි තිබුණ දේවල් හොඳින් හිතේ ධාරණය කරගත්තා. එහි සඳහන්ව තිබුණ, ජීවිතය යක්ෂයාට කැපකිරීම සඳහා අවශ්‍ය කලමනා කටයුතු සේරම විවාහ උත්සවය පැවැත්වෙන දවසට කලින් දවස වෙනවිට සූදානම් කර ගැනීමට පිංහාමිට හැකිවුනා.

අවශ්‍ය දේවල් සියල්ලත් අරගෙන එදා රෑ එකොලහට විතර පිංහාමි ගෙදරින් පිටත්වුනා. එයා කෙලින්ම ගියේ කනත්තට. කලුවරේම කනත්තේ අලුතින් වලලපු මිනී වලක් හොයාගත්තු ඔහු තමන් ගෙනාව කලමනාද ඒ මිනීවල අසලින් සූදානම් කරලා තියලා, ඉනේ ගසාගෙන හිටිය කිනිස්සක් අතට අරගෙන මිනී වල උඩ දිගාවුනා. ඒ විදිහට මිනී වල මත දපලා පුස්කොල පොතෙන් පාඩම් කරගත්තු මන්තරය මතුරන්න පටන්ගත්තු පිංහාමි, ඒ මන්තරය අවසාන වෙනවාත් සමගම කිනිස්සෙන් ගෙල කපාගෙන ජීවිතය අහිමි කර ගත්තේ බිසෝමැණිකේයි, හේතුහාමියි පිළිබඳ දැඩි වෛරයකින් යුතුවයි.

පහුවදා උදාවුණ සුභ ⁣නැකතින් හේතුහාමිගෙයි, බිසෝමැණිකේගෙයි විවාහය ජයටම සිදුකෙරුණා. එදින බිසෝමැණිකේගේ නිවසේදී සිදුකෙරුණු දිවා බෝජනයෙන් පස්සේ නව යුවල හේතුහාමිගේ නිවසට යන්න පිටත් වුනා. පිංහාමිගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ ආරංචිය ඒ වෙනකොට හේතුහාමිලාගේ ගමෙත් ලැව්ගින්නක් වගේ පැතිරෙමින් තිබුණ නිසා අලුත් මනමාලිවත් කැන්දාගෙන ගෙදර එමින් හිටිය හේතුහාමිටත් ඒ සිද්ධිය ආරන්චි වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. අලුත් මනමාලිව ගෙදර නවත්තපු හේතුහාමි ඉක්මනට දිව්වේ පිංහාමි මැරිලා වැටිලා හිටිය කනත්ත දිහාවට. වටවෙලා හිටිය සෙනග මෑත් කරමින් පිංහාමි වැටිලා හිටිය තැනට ගියපු හේතුහාමිට සිදුවෙලා තියෙන කලබැගෑනිය තේරුම් ගියා.

තම ආත්මය යක්ෂයාට පූජාකරපු පිංහාමි තව නොබෝ දිනකින්ම බලගතු යක්ෂ ආත්මයක් ලබා තමාගෙන් සහ තම බිරිඳගෙන් පලිගැනීමට පැමිණෙන බව අවබෝධවුන හේතුහාමි දුවලා ගියේ පිංහාමිගේ ගෙදරට. පිංහාමි අවසානයට කියවපු පුස්කොල පොත අතට ගත්තු හේතුහාමි, ලඟ ලඟම පැමිණෙන්නට තිබෙන මේ කරදරයෙන් ගැලවීමට ක්‍රමයක් ඒ පොතේ හොයන්නට උනත්, එ් පිළිබඳව කිසිම දෙයක් පුස්කොල පොතේ සඳහන් වෙලා තිබුණේ නෑ.

එදා හවස ආපහු ගෙදර ගියපු හේතුහාමි මේ ප්‍රශ්නයට පිලිතුරක් හොයන්න දහඅතේ කල්පනා කරන්නට උනා. ඒත් වෛරයකින් යුතුව මැරුණ මිනිහෙක් යක්ෂයෙක් විදිහට උප්පත්තිය ලබපුවාම ඒ යක්ෂයා කොපමණ බලවත් වෙනවාද කියන එක ගැන දැනගෙන හිටිය හේතුහාමිට, තමන් දන්නා ගුරුකම් වලින් එවැනි බලගතු යක්ෂ ආත්මයක් මට්ටුකරන්නට බැරි බවත් අවබෝධ වුනා. ඒ විදිහට කල්පනා කරකර ඉන්නකොට හේතුහාමිට එකපාරටම මතක්වුනා තුම්පනේ පැත්තේ ඉන්න තමන්ටත් වඩා ගුරුකම් සාස්තරේ පරතෙරටම ගියපු ඇදුරෙක් ගැන. ඉතින් එදා හේතුහාමි නින්දට වැටුනේ, පහුවදා උදේම තුම්පනේ බලා පිටත්වෙන්න හිතාගෙනයි.

loaading...
පහුවදා උදේම අවදිවුන හේතුහාමි තුම්පනේ බලා පිටත්වුනා. තුම්පනේ හිටපු ගුරුන්නාන්සේ හොඳ දක්ෂයෙක් වගේම කරුණාවන්ත අයෙක් වීම හේතුවෙන්, හේතුහාමිට දැනගන්නට අවශ්‍ය වී තිබූ සියල්ලම ඒ ගුරුන්නාන්සේ ඔහුට කියලා දුන්නා. තම ආත්මය යක්ෂයාට කැප කරපු කෙනෙකුගේ යක්ෂ ආත්මය, බන්ධනය කරන ක්‍රමේ හොඳින් ධාරණය කරගත්තු හේතුහාමි ආපහු ගෙදර එනකොට හොඳටම රෑ වෙලා.

වැටේ කඩුල්ලෙන් ඇතුලු වෙනවාත් එක්කම හේතුහාමිගේ හිතට අමුත්තක් දැනෙන්න පටන්ගත්තා. ⁣වටපිට බැලුවත් පේන්න කිසිම කෙනෙක් හිටියෙත් නෑ. හේතුහාමිට එකපාරම මතක්වුනේ පිංහාමිගේ යක්ෂ ආත්මය පිළිබඳවයි. තමා නැති වෙලේ ගෙදර හිටියෙත් බිරිඳ විතරයි නේද කියලා හිතෙනකොට හේතුහාමිගේ ඉහ මොල රත්වෙන්න පටන්ගත්තා. හේතුහාමි ඉක්මනට දුවලා ගියේ ගේ ඇතුලට. ගෙට ඇතුල්වෙද්දිම දැකපු දෙයින් හේතුහාමිට කෑගැහුනා. ලේ විලක් මැද්දේ වැටිලා හිටියේ හේතුහාමිගේ බිරිඳ වුන බිසෝමැණිකෙයි. බල්ලෙක් හරි වෙනත් දරුනු සතෙක් හරි, ඇගේ ගෙල පෙදෙස කීතු කීතු වලට ඉරලා දාලා යැයි බැලූ බැල්මට පෙනුණත්, හේතුහාමිටනම් ඒ සතා මොකෙක්ද කියලා අඳුනාගන්න දෙපාරක් හිතන්න ඕනෙවුනේ නෑ.

කුරිරු විදිහට මරාදමා තිබුණ තම බිරිඳගේ මලසිරුර දැකීම හේතුවෙන්,⁣ හේතුහාමි දැඩි ලෙස දුකටත්, කෝපයටත් පත්වුනා. තමන්ගේ ජීවිතය ගියත්, කෙසේ හෝ එය සිදුකළ පිංහාමිගේ යක්ෂ ආත්මයෙන් පලිගන්නට හේතුහාමි තීරණය කලා. මියගිය බිරිඳගේ මලසිරුර එහෙම්මම තියෙද්දි හේතුහාමි ගෙතුළ තිබූ යම් යම් කලමනා වගයක් ලොකු මල්ලකට දාගත්තා. ගෙයි පිලිකන්න පැත්ත⁣ට ගියපු ඔහු හුලුඅත්තකුත් පත්තුකරගෙන මහ රෑම ගෙදරින් පිටත්වුනා.

හේතුහාමි කෙලින්ම ගියේ පිංහාමිගේ ගෙදරට. පාලුවට ගියපු ඒ ගෙදර කට්ට කලුවරක ගිලිලා තිබුණා. ගෙයි මිදුලේ ටිකකට නතරවුන ඔහු,

" පිංහාමියෝ........ ඔන්න මම ආවා.... දැන් ඉතින් පුලුවන්නම් ඇවිත් මගෙන් පලි ගනින්... "

කියලා, මිදුලේ මැද හරියට වෙන්න බිම ඉඳගෙන, රැගෙන ආව මල්ල තුළ තිබූ කලමනා එලියට අරගත්තා. හේතුහාමිගේ කටහඬ ඇහෙද්දිම ගෙය තුළින් ඇඟ කිලිපොලා යන අන්දමේ අමනුස්ස හඬකින් කෙරෙන කෑගැසීමක් ඇහෙන්න උනත් ඒ කිසිම දෙයක් සතේකටවත් ගනන් නොගත් හේතුහාමි, තුම්පනේ ගුරුන්නාන්සේගෙන් උගත් මන්තරය මතුරන්නට වුනා.

හේතුහාමිගේ මැතිරීම පටන්ගන්නවාත් සමඟම, බියකරු හඬක් නගමින්, ගෙය තුළ සිට කටින් ලේ වෑස්සෙන, එලියට නෙරාවිත් තිබූ දිග දත් ඇති, බයංකර යක්ෂ ආත්මයක් මිදුලට ආවා. ඒත් ඒ දෙසවත් නොබලාම හේතුහාමි තමන්ගේ වැඩේ දිගටම කරගෙන ගියා. මැතිරීමේ අවසාන හරියට එනකොට හේතුහාමිගේ හඬත් වැඩිවෙන්නට වූ අතර, එතෙක් වේලා හේතුහාමිගේ ඇඟට කඩාපනින්නට උත්සාහ කරමින් සිටි ඒ යක්ෂ ආත්මයත් ඒ වන විට එතනින් පැන දිවීමට උත්සාහ කරමින් සිටියා. මැතිරීම නතර නොකරම හුන් තැනින් නැගිට ගත් හේතුහාමි පැන දුවන්නට තැත් කරමින් හිටපු යක්ෂයාගේ දිහාවට අත දිගුකර ඌගේ බෙල්ලෙන් අල්ලා ගන්නා ආකාරයට අත හසුරුවන්නට වූ අතර යක්ෂයා ද එම ග්‍රහණයෙන් මිදෙන්නට මෙන් දෑතින්ම ගෙල බදාගෙන දඟලන්නට උනා. ඒ සමගම හේතුහාමි මන්තරයද උච්ච ස්වර⁣යකින් මතුරමින් ගැලවී යාමට දඟලන යක්ෂයාගේ බෙල්ලෙන් ඇදගෙන ගිහින් ගෙදර ඇතුලේ තිබුණ කාමරයකට දාලා හිර කරා.

යක්ෂයාව හිරකරලා කාමරයේ දොර වහලා දාපු හේතුහාමි, තමන් දන්න හැම ආරක්ෂාවක්ම දැම්මා ඒ දොර ආයේ නොඇරෙන්නම. අද වනවිටත් එදා පිංහාමි ජීවත්වුන නිවස එ් ගමේ තියෙනවාලු. වර්තමානයේ එ් නිවසේ ජීවත් වෙන පිංහාමිගේ ඤාතින් ඒ ගෙදරට අලුතින් කොටස් එකතු කරලා අදකාලෙට ගැලපෙන විදිහට හදලා තිබුණත්, නිවසේ පිටුපසට වෙන්නට එක් කාමරයක් විතරක් තවමත් පැරැණි අයුරින්ම තියෙනවාලු. ඒ වගේම මොනම ක්‍රමයකටවත් ඒ කාමරයේ දොරනම් අරින්න බැරිලු.

උපුටා ගැනීමකි.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...